උබුන්ටු 9.1 ඉඳලා NTFS පාටිෂන් (හරියටම කියනවනම් Removable Drives මම හිතන්නේ) මවුන්ට් කරනකොට sudo රහස් පදය ලබා දෙන්න වුනා. ලබා දුන්නට පස්සේ විනාඩි පහලවක් විතර වෙනකම් ආයේ ලබා දෙන්න අවශ්‍ය නොවුනත් මේක පෞද්ගලික පරිගණකයකට අපහසුවක්. (මේ වෙනස ඇත්තටම වෙන්නේ උබුන්ටු වලට නෙමෙයි, Gnome වලට. ඩිස්ක් මවුන්ට් කරන්න Gnome වලදි භාවිතා වෙන්නේ gnome-mount කියන අතුරු විධානය. Fedora වලදි sudo පෙරනිමියෙන් නැති නිසා අහන්නේ root රහස් පදය.)

තැටි මවුන්ට් කිරීම් වලට අදාල startup script එක වෙන්නේ /etc/fstab කියන ගොනුව. මේ ගොනුවේ ලිනක්ස් ආරම්භයේදී මවුන්ට් කර ගත යුතු පාටිෂන් පේළි ආකාරයට ලැයිස්තු ගත කරලා තියෙනවා. ටර්මිනලයක sudo less /etc/fstab ලෙස ලබා දුන්නොත් fstab ගොනුවේ අන්තර්ගතය බලා ගන්න පුලුවන්.මේ පේළියක ආකෘතිය පහත ආකාරයට දක්වන්න පුලුවන්.

  • – මේ තීරුවේ සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ අදාල device එකේ ගොනුව. මේක අපිට හොයාගන්න පුලුවන් වෙන්නේ /dev ඩිරෙක්ටරිය ඇතුලේ (උදා: /dev/sda1). තමන්ගේ පාටිෂන් වලට අදාල ගොනු මොනවද කියලා බලා ගන්න ටර්මිනලයක් ඇතුලේ sudo df -h ලෙස විධානය දෙන්න. හැබැයි මේ විධානය දෙනකොට තමන්ට බලා ගන්න අවශ්‍ය device මවුන්ට් කරලා තියෙන්න ඕනේ.
  • – අදාල device එක මවුන්ට් කල යුතු ඩිරෙක්ටරිය මොකද්ද කියලා මෙතන සඳහන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උබුන්ටු තුලදි gnome-mount හරහා මවුන්ට් වෙන්නේ /media ඩිරෙක්ටරිය ඇතුලට (මේක අනිවාර්ය නැහැ. තමන්ට අවශ්‍ය තැනකට මවුන්ට් කර ගන්න පුලුවන්). පාටිෂන් එකේ ලේබලයේ නමින් ඩිරෙක්ටරියක් /media ඩිරෙක්ටරිය ඇතුලේ හැදෙනවා (පාටිෂන් එකේ ලේබලය Misc නම් /media/Misc ලෙස ඩිරෙක්ටරියක් හැදෙනවා.). අපි gnome-mount හරහා unmount කරනකොට ඒ ඩිරෙක්ටරිය ඉබේ මැකිලා යනවා. නමුත් මෙතන සඳහන් කරන්න කලින් අපි අදාල ඩිරෙක්ටරි හදාගෙන තියා ගන්න ඕනෙ. මොකද fstab හරහා මවුන්ට් කරනකොට භාවිතා වෙන්නේ සාමාන්‍ය mount විධානයයි. mount විධානයට දැනට තියෙන ඩිරෙක්ටරියක් පමණයි දෙන්න ඕනෙ.
  • – මෙතනට ලබා දෙන්නේ අපි මවුන්ට් කරන පාටිෂන් එකේ ගොනු පද්ධති ආකාරය (file system එක). මේ සඳහා ntfs, ext2, ext3 ආදී ලෙස දෙන්න පුලුවන්.
  • – මේ තීරුවට මවුන්ට් කිරීමේ විකල්ප ලබා දෙන්න පුලුවන්. විශේෂ විකල්ප නැතිනම් defaults ලෙස ලබා දෙන්න හැකියාව තියෙනවා. ලබා දිය හැකි වෙනත් විකල්ප විදියට ro (Read Only), noexec (Prohibit binary file execution), auto (Mount automatically at startup) ආදිය දක්වන්න පුලුවන්. මේ විකල්ප වලින් අපිට වැදගත් වෙන්නෙ auto කියන එක.
  • – අපි මෙතනදි සඳහන් කරන්නේ පාටිෂන් එක බැකප් කරනවාද නැද්ද කියන එක. මෙතනදි 0 දුන්නාම හොඳටම ඇති.
  • – මේ තීරුවෙදි සඳහන් කරන්න ඕනේ හදිසියේ ක්‍රියා විරහිත වුනොත් නැවත ආරම්භ කිරීමේදී fsck මගින් පරීක්ෂා කරනවද කියන දේ. පාටිෂන් එක root පාටිෂන් එකක් නම් 1, සාමාන්‍ය පාටිෂන් එකක් නම් 2 ලබා දුන්නොත් එසේ පරීක්ෂා කරනවා. පරීක්ෂා කිරීම අනවශ්‍ය නම් 0 ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් NTFS පාටිෂන් එකකට මේක අවශ්‍ය නැහැ.

දැන් අපි මවුන්ට් කරන්න අවශ්‍ය පාටිෂන් ලැයිස්තුව fstab ගොනුවට ඇතුලත් කරමු. මුලින්ම මේ පාටිෂන් වල device ගොනුව හොයාගන්න ඕනේ. අවශ්‍ය පාටිෂන් Gnome හරහා මවුන්ට් කර ගන්න (Places මෙනුව හරහා මෙය කර ගන්න පුලුවන්). ඉන්පසු ටර්මිනලයක් විවෘත කරලා පහත විධානය ලබා දෙන්න.

ලැබෙන output එකේ Mounted On තීරුව යටතේ /media/ ඩිරෙක්ටරිය ඇතුලත් device ලියා තබා ගන්න. උදාහරණයක් විදියට /dev/sda1, /dev/sda5 සහ /dev/sda6 ගනිමු.

දැන් Gnome හරහාම මේ පාටිෂන් unmount කර ගන්න. අපි ස්වයංක්‍රීයව මවුන්ට් කර ගන්න mount point සාදා ගත යුතුයි. mkdir විධානය මගින් අවශය ඩිරෙක්ටරි අවශ්‍ය තැන්වල හදා ගන්න. මම මේ ඩිරෙක්ටරි ඒ ඒ පාටිෂන් වල ලේබල වල නමින් /media ඩිරෙක්ටරිය ඇතුලෙම හදනවා. නමුත් හදන තැනවත් ඩිරෙක්ටරි වල නම්වත් මේ විදියටම වෙන්න ඕනේ නැහැ.

1.sudo mkdir /media/C
2.sudo mkdir /media/SW
3.sudo mkdir /media/Misc1

දැන් අපි fstab ගොනුව සංස්කරණය කරමු.

1.sudo vi /etc/fstab

දැන් පහත පේළි ආකාරයට ටැබ් (Tab යතුර) වලින් වෙන් කර කර ටයිප් කරගෙන යන්න. Devices සහා ඩිරෙක්ටරි තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න.

/dev/sda1 /media/C ntfs auto 0 0
/dev/sda5 /media/SW ntfs auto 0 0
/dev/sda6 /media/Misc1 ntfs auto 0 0

/etc/fstab සංස්කරණය කිරීම

දැන් ලිනක්ස් restart කරන්න. පාටිෂන් ටික මවුන්ට් වී තිබිය යුතුයි.