උබුන්ටු 10.04 බීටා නිකුතුවකුත් තියෙන කාලෙ ඇල්ෆා දාගෙන විනාස කර ගත්ත කතා නිකන් ආදී කාලේ වගේ ඇති. ඒත් අලුතින් එන ඇල්ෆා සංස්කරණයක් පාවිච්චි කරන්න තරම් උණ තියෙන කෙනෙකුටනම් මේවා රස කතා.

මම මුලින්ම කලේ මගේ තිබුන 9.1 සංස්කරණයේ ඉඳන් dist-upgrade එකක් දාපු එක. මේක කරන්නේ මෙහෙමයි.

Applications -> Accessories -> Terminal හරහා ටර්මිනලයක් විවෘත කර ගෙන පහත විධාන නිකුත් කරන්න. ඔබ අවසර තියෙන පරිශීලකයෙක් (privileged user) නෙවෙයි නම් (prompt එකේ අවසානයට තියෙන්නේ # නෙවෙයි නම් ඔබ අවසර තියෙන පරිශීලකයෙක් නෙවෙයි) මේ විධාන වලට මුලින් sudo යොදන්න අවශ්‍යයයි.

sudo sed -i 's/karmic/lucid/g' /etc/apt/sources.list && sudo aptitude update && sudo aptitude dist-upgrade

sudo aptitude install update-manager-core

sudo do-release-upgrade -d

මට මතක හැටියට මෙගාබයිට් 888ක ගොනු ප්‍රමාණයක් බාගත කරන්න ඉල්ලනවා. ඒක නිසා ටිකක් bandwidth තියෙන තැනක මේ වැඩෙ කලොත් හොඳයි. තව දෙයක් කියන්න ඕනේ. මේ බාගත කිරීම කරන්නේ ප්‍රොක්සි සර්වරයක් පිටුපස නම් (ටර්මිනලයේ env | grep proxy යනුවෙන් විධානය ලබා දුන්නාට පස්සේ ප්‍රතිපලයක් ලැබෙනවනම් ඒ කියන්නේ ඔබ ඉන්නේ ප්‍රොක්සි සර්වරයක් පිටුපස) සමහර ගොනු බාගත කිරීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. libsexy හා python-sexy යනුවෙන් ගොනු දෙකක් බාගත කිරීම අනිවාර්යයි. නමුත් මේ නම් දෙක සමහර ප්‍රොක්සි සර්වර් මගින් අවහිර කරලා තියන්න පුලුවන්. වෙබ් ප්‍රොක්සි පාවිච්චි කිරීමෙන් සමහර විට මේ ප්‍රශ්නය මඟ හරව ගන්න පුලුවන් වෙයි.

ස්ථාපන කාලය පැය දෙකකට ආසන්න වුනා. උබුන්ටු මුල ඉඳන් ස්ථාපනය කරන්න විනාඩි විස්සක් ඇතුලත පුලුවන්. ඒත් upgrade කිරීමක් පැය දෙකක් දක්වා යනවා (බාගත කරන්න ගිය කාලය හැර) .

ස්ථාපනයෙන් පස්සේ නැවත පණගැන්වුවාම ලැබුනෙ අප්‍රසන්න අත්දැකීම් කිහිපයක්. Wi-Fi ධාවකයන් නොතිබුන නිසාද මන්ද Wi-Fi card එක වැඩ කලේ නැහැ. Gnome-panel සිට තවත් නම් නොදන්න මෘදුකාංග කිහිපයක crash report එන්න පටන් ගත්තා. අඩුම තරමේ user-switch පැනලය වත් වැඩ කලේ නැහැ. ලිනක්ස් පාටිෂන් හැර වෙනත් පාටිෂන් කිසිම විදියකින් mount කර ගැනීමට නොහැකි වුනා. ආරම්භ කරන්න යන මෘදුකාංග 10කින් 9.5ක්ම crash වෙන්න පටන් ගත්තා.

මේ හුඟක් දෝෂ වලට හේතුව වෙන්නේ dist-upgrade එක, විශේෂයෙන්ම ඇල්ෆා සංස්කරණයකට නිසා. ඒ නිසාම මම ආයෙත් පාරක් උත්සහ කලා, බාගත කරපු cd එකක් සමඟ.

ස්ථාපනයෙන් පස්සේ කලින් වතාවට වඩා අඩු කරදර ප්‍රමාණයකින් උබුන්ටු ආරම්භ වුනා. NTFS පාටිෂන් වලට ඇතුලු වෙන්න පුලුවන් වීම ලොකු දෙයක්. Wi-Fi වැඩ නොකිරීම පමණක් වැරැද්දකට තබා ගෙන ඒ වටේ අවසන් වුනා.

නමුත් Wi-Fi වැඩ නොකර laptop එකක වැඩ කිරීම ටිකක් අමාරු නිසා හිතේ අමාරුවෙන් වුනත් නැවත 9.1 වලට මාරු වුනා.

නව තීම් එක

Ambiance තීම් එක ඇතුළු අනිකුත් නව තීම්

Ambiance යනුවෙන් පැමිණෙන තීම් එක උබුන්ටු 10.04 වලදි default ලෙස පැමිණෙනවා. කලින් සංස්කරණ වලට වඩා ටිකක් අඳුරු පැහැ ගන්න මේ තීම් එක බැලූ බැල්මට මට හිතට ඇල්ලුවේ නැහැ.

Control Button ස්ථානය

දකුණු පැත්තට මාරුවුන control buttons

10.04 සංස්කරණය තුලදි දැක්ක මූලික වෙනසක් තමයි මේක. Close, Minimize, Maximize කියන button සාමාන්‍යයෙන් තිබුනේ වම් පැත්තේ Min, Max, Close පිලිවෙලට. නමුත් උබුන්ටු නව සංස්කරණයෙදි මේක දකුණු පැත්තෙ Max, Min, Close පිලිවෙලට දර්ශනය වෙන්නේ. මේ තීරණය ගන්නකොට උබුන්ටු නිර්මාපකයින් ගංජා ගහලා හිටියද නැත්තන් ඇපල් පරිශීලිකයින්ටත් පොඩි ආරාධනාවක් කරන්න හිතුවද දන්නේ නැහැ. නමුත් මානව පරිගණක අන්තර්ක්‍රියාකාරීත්වය (Human Computer Interaction) පැත්තෙන් ගත්තොත් මේක අසාර්ථක දෙයක්. නමුත් අවශ්‍ය නම් අපිට මේ පිලිවෙල සහ ස්ථානය වෙනස් කරන්න පුලුවන්.

Alt+F2 ඔබන්න. ඊට පස්සේ පැමිණෙන කවුළුවේ gconf-editor ලෙස ඇතුලත් කර Run ඔබන්න (Windows තුල Run වගේ මෘදුකාංගයක්). ඊට පස්සේ එන්නේ අපි සාමාන්‍යයෙන් Windows තුලදි දකින් Reg Editor වගේ Window එකක්. ඒකෙ apps->metacity->general ස්ථානයට යන්න. දකුණු පැත්තේ ලැයිස්තුව තුල button_layout කියන පේලිය උඩ double click කර ලැබෙන කවුළුව තුල menu:minimize,maximize,close ලෙස ඇතුලත් කරන්න. දැන් අර button ප්‍රශ්නය විසඳිලා තියෙන්න ඕනෙ.

gconf-editor මගින් control box ස්ථානය හා පිලිවෙල වෙනස් කිරීම

දුර්වල සිංහල සහාය

Firefox බ්‍රව්සරය තුලින් සිංහල බ්ලොග් පිටුවක් දර්ශනය වූ ආකාරය

සිංහල සහාය තවමත් දුර්වල මට්ටමක තිබුනා. මේක නිරාකරණය කර ගන්න මම ලියපු උබුන්ටු මත සිංහල සහය ලබා ගැනීම සටහන බලන්න. තවමත් Input Method එක විදියට පෙරනිමියෙන් එන්නේ iBus. iBus පාවිච්චිය එච්චර මට හුරු නැති නිසා මම SCIM නැවත ස්ථාපනය කර ගත්තා.

GIMP පේන්න නැහැ

පෙරනිමියෙන් GIMP ලැබෙන්නේ නැහැ

උබුන්ටු 10.04 එක්ක GIMP මෘදුකාංගය පෙරනිමියෙන් ලැබෙන්නේ නැහැ. 9.1 වෙනකම් අනිවාර්යයෙන්ම තිබුන අංගයක් වෙන GIMP10.04 වලදි අයින් වෙන්නේ ඒක “හොඳ වැඩියි” කියලා. සාමාන්‍ය පරිශීලකයෙකුට GIMP වල තියෙන උපාංග හුඟක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම GIMP මගින් සැලකිය යුතු ඉඩක් ගන්නවා. GIMP වෙනුවට කැනෝනිකල් අය දෙන විකල්පය තමයි F-Spot Photo Manager.

Software Center වෙනස්කම් කිහිපයක්

අලුත් Software Center

පරණ Software Center

පරිශීලකයින්ට අවශ්‍යනම් උබුන්ටු වෙතින්ම පමණක් ලබා දෙන මෘදුකාංග ගන්න පුලුවන් ආකාරයට වෙන්කර දක්වලා තිබෙනවා. Featured Applications යටතේ අපිට අදාල සහ වැඩිපුර rating වලට හසුවුණ මෘදුකාංග ලැයිස්තුවක් ලබා දෙනවා. ජනප්‍රිය ලිනක්ස් මෘදුකාංග කිහිපයක් මේ ලැයිස්තුවේ තිබෙනවා. ඒ නිසා තමන්ට කර ගන්න අවශ්‍ය දේකට වැඩිපුරම ගැලපෙන මෘදුකාංගය හොයාගෙන forum ගානේ රස්තියාදු වෙන්න එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ.

Firefox 3.6

Firefox උබුන්ටු 10.04 මත

10.04 සඳහා පෙරනිමියෙන් Firefox 3.6 පැමිණෙනවා. එකපාරටම දකින දෙයක් තමයි default search engine එක යාහූ වෙලා තියෙන එක. Firefox start page එකත් යාහූ ආකාරයට හදලා. මීට කලින් 9.1 වෙනකම් යාහූ වෙනුවට තිබුනේ ගූගල්. මේ වෙනසට හේතුව යාහූ සහ කැනෝනිකල් ආදායම් බෙදාගැනීමේ එකඟතාවයක් අත්සන් කිරීම.

මයික්‍රොබ්ලොග් සහය

Broadcast, Gwibber, සහ status පැනලය

ට්විටර් වැනි මයික්‍රො බ්ලොග් වැඩ කරන අයට උබුන්ටු 10.04 වලින් සැලකිය යුතු සහයක් ලබා දීලා තියෙනවා. Gwibber කියන්නේ 10.04 සඳහා පෙරනිමියෙන් ලැබෙන ට්විටර් client එකක්.

Gwibber හරහා twitter භාවිතය

Broadcast කියන්නේ අපි භාවිතා කරන හුඟක් සේවා එක තැනක ඉඳන් භාවිතා කරන්න දෙන මෘදුකාංගයක්. Broadcast භාවිතයෙන් Facebook, Flickr, Twitter, FriendFeed වගේ සේවා වලට ඇතුලත් වෙන්න පුලුවන්. ඒ වගේම Broadcast පැනලයක් තිරයේ වම් පැත්තේ උඩ ලබා දීලා තියෙනවා. එතනින් status වෙනස් කිරීම පහසුවෙන් කරන්න පුලුවන්.

Pitivi වීඩියෝ සංස්කරණ මෘදුකාංගය

Pitivi ආරම්භ කලාට පසුව

වීඩියෝ සංස්කරණයට කැමති අයට පෙරනිමියෙන් Pitivi කියලා මෘදුකාංගයක් ලබා දීලා තියෙනවා. Windows Movie Maker වලට ටිකක් අංග තියෙන මෘදුකාංගයක්.

තව සුළු සුළු වෙනස්කම් කිහිපයක් තියෙනවා. අඩු ක්‍රීඩා ප්‍රමාණයක් 10.04 වලට ඇතුලත් කරලා තියෙනවා. ඒක වටින වැඩක්. මොකද මම කවදාවත් ඔය ක්‍රීඩා හැම එකක්ම භාවිත කරලා නැහැ. ඒත් අනවශ්‍ය විදියට ඉඩ ගන්න මේවා අයින් කරන්න apt-get remove කරලා බැහැ.

All work and no play.....

මට මතක විදියට NTFS පාටිෂන් mount කරන අවස්ථාවෙදි රහස් පදයක් අවශ්‍ය වුනේ එක පාරයි. මම හිතන්නේ gnome-mount වල තිබුන ඒ අඩුපාඩුව මේ සැරේ නිරාකරණය කරලා.

GDM Login තිරය උබුන්ටු 9.1 ට වඩා වෙනස් නැහැ. ඒ කියන්නේ අපිට තාම ඒ සඳහා තීම් යොදන්න බැහැ.

මලානික GDM තිරය

ඇල්ෆා සංස්කරණය නිසාද දන්නේ නැහැ ආරම්භ (boot) වෙන්න තත්පර විස්සකට වැඩිය ගියා (9.1 වල එක අරමුණක් වුනේ තත්පර 15ක් ඇතුලත ආරම්භ වීම, මතකයි නේ).

පොතේ හැටියට Nautilus (උබුන්ටු තුල ගොනු බ්‍රව්ස් කිරීමට තියෙන මෘදුකාංගය) අලුත් වෙන්න ඕනෙ. 10.04 නිකුත් වුනාට පස්සේ තමයි ඒක බලන්න වෙන්නේ. දැනට තියෙන්නේ පරණ Nautilus.

කොහොම වුනත් 10.04 වලදි අලුත් දේවල් ටිකක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම දැනට කරගෙන යන Ubuntu Manual ඒ වෙනකොට නිකුත් වෙන්න ඕනෙ (http://ubuntu-manual.org/).